Monday, April 14, 2025

General line - 0115112241

පකිස්තානයේ සිරගෙවල් ධාරිතාව ඉක්මවා යයි



වෛද්‍ය ප්‍රතිකාර සඳහා විවිධ පළාත් බන්ධනාගාරවල සිට ලාහෝර් වෙත මාරු කර යැවූ සිරකරුවන් 68 දෙනෙකු පසුගිය වසරේ මියගිය බව පකිස්තානයේ පන්ජාබ් ස්වදේශ දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව, බරපතල සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් රැඳවියන් ලාහෝරයේ ප්‍රමුඛ පෙළේ රෝහල් වෙත මාරු කර යවා ඇත.

“සියලුම මරණ කලින් පැවති රෝග තත්වයන් වල ප්‍රතිඵලයක් වන අතර දිස්ත්‍රික් සහ සැසි විනිසුරුවරුන්ගේ නියෝග යටතේ හොඳින් විමර්ශනය කරන ලදී.''

''ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කිසිදු මරණයක් සිදුවී නැත, ” එම ප්‍රකාශකයා අවධාරණය කර තිබේ.

සෑම මරණයක් සඳහාම පශ්චාත් මරණ පරීක්‍ෂණ හා විධිමත් පරීක්‍ෂණ පවත්වා නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් සිරුරු පවුල් වෙත භාර දී ඇතැයි පැවසේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලාහෝර් වෙත මාරු කරන ලද සිරකරුවන් නගරයේ නිල බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාවට ඇතුළත් වන බව දෙපාර්තමේන්තුව පැහැදිලි කළේය.

රැඳවියන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සැපයීමේ උත්සාහයන් නිලධාරීන් අවධාරණය කළ අතර, පුළුල් සංඛ්‍යාලේඛන ඒ සම්බන්ධයෙන් ගැටළු මතු කර තිබේ.

පකිස්තානයේ මෑත වාර්තාවකින් හෙළි වූයේ පකිස්තානයේ බන්ධනාගාර තුළ රඳවා ඇති රැඳවියන් සංඛ්‍යාව ඒවායෙහි නිල ධාරිතාවෙන් 152.2% ක් වන අතර ඇතැම් බන්ධනාගාරවල ධාරිතාව 300% ඉක්මවන බවයි.

පුද්ගලයන් 37,217ක් සඳහා නිර්මාණය කර ඇති සිර මැදිරි තුළ සිරකරුවන් 61,813ක් සිරවී සිටින අතර, 173.6% අධි ධාරිතාවය භයානක මට්ටමක් බව එම වාර්තාව පවසයි.