Tuesday, February 25, 2025

General line - 0115112241

අම්බලන්තොට ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට පස් දෙනෙකු අත්අඩංගුවට

රාහුල් සමන්ත



අම්බලන්තොට, ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී සිදු වූ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට අදාලව සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලිස් ස්ථාන සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. 

දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකදී පුද්ගලයන් තිදෙනෙකු එලෙස ඝාතනය කර තිබුණා. 

පුද්ගලයින් කණ්ඩායමක් ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි පුද්ගලයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

බරපතල තුවාල ලැබූ ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අදාල නිවසේ ජීවත් වූ පුද්ගලයෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අවුරුදු 34, 39 සහ 45 වයස්වල පසු වූ ඔවුන් ඇලේගොඩ හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
 

නිතී විරෝධී මත්පැන් ජාවාරමේ නිතරව සිටින දෙපාර්ශවයක් අතර කලට සිට පවතින ආරවුලක් එම ඝාතනවලට හේතු වී තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මේ අතර එම සිද්ධියත් සමඟ ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම අනියුක්ත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පැවසුවේ.