Monday, February 24, 2025

General line - 0115112241

හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයෙකුට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

උදය කුමාර



අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් එම් ජේ ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස 29 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. 

ඒ, එම පෙත්සම අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. 

බලපත්‍රලත් මත්පැන් හල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. 

මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් ඔවුන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.