Monday, February 24, 2025

General line - 0115112241

ඉන්දිය අගමැති මෝදිට ඓතිහාසික මැතිවරණ ජයක්



වසර 27කට පසු ඉන්දීය අගනුවර වන දිල්ලියේ බලය අත්පත් කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය සමත් වී තිබෙනවා. 

ඒ, දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජය ගනිමින්. 

ඉන්දීය මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව භාරතීය ජනතා පක්ෂය විසින් මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවේ ආසන 48ක් ජයග්‍රහණය කර තිබෙනවා. 

වර්තමානයේ බලය හිමි ආම් ආද්මි පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 22ක් පමණයි. 

ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ද මැතිවරණයට තරග කළ නමුත් ඔවුන් එක් ආසනයක්වත් දිනාගෙන නැහැ. 

කෙසේ වෙතත් ආසන 35කට වැඩි බලයක් හිමි පක්ෂය දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රටේ අගනුවර වුවද දිල්ලියේ බලය අත්පත් කර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට වසර ගණනක් යනතුරු නොහැකි වීම විශේෂත්වයක්. 

ෆෙඩරල් පරිපාලනය යටතේ පාලනය වන ප්‍රදේශයක් වන දිල්ලිය 2013 සිට පාලනය කළේ කුඩා පක්ෂයක් වන ආම් ආද්මි පක්ෂය විසින්. 

නමුත් එම පක්ෂය සහ එහි නායකයින් මෑතකදී අභියෝග රැසකට මුහුණදීම හා නායකයින් දූෂණ චෝදනාවලට ලක්වීම ඔවුන්ගේ පරාජයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
 

මේ අතර දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ දිල්ලියේ එම ජයග්‍රහණය ඉන්දීය ඡන්දදායකයින් අතර මෝදිගේ ජනප්‍රියතාවය ශක්තිමත් කරනු ඇති බවයි. 

එලෙස දිල්ලි මැතිවරණය පිළිබඳ ලෝකයේම අවදානය හිමිවුයේ 2013 වර්ෂයේදී රටේ අතිශය ජනප්‍රිය පක්ෂයක් නොවූ අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂයට දිල්ලියේ බලය හිමිවීමෙන් පසුවයි.