Saturday, February 22, 2025

General line - 0115112241

මාළිමා ආණ්ඩුවේ පළමු අයවැය අද



2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

ජනාධිපතිවරයාගේ අයවැය කතාව උදෑසන 10.30ට පමණ ආරම්භ වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය වන්නේ ද මෙය වීම විශේෂත්වයක්. 

ඒ අනුව අයවැය විවාදය හෙට සිට මාර්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙට සිට ලබන 25 වනදා දක්වා දින 07ක් පැවැත්වීමට නියමිත අතර ලබන 25 වනදා පස්වරු 06.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු මස 21 වනදා දක්වා සෙනසුරාදා දින 04ක් ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි. 

විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වනදා පස්වරු 06.00ට පැවැත්වීමට නියමිත බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අයවැය කාලසීමාව තුළ සෑම දිනකම පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා කාලසීමාව අයවැය විවාදය සඳහා වෙන් කර තිබෙනවා.