Monday, March 24, 2025

General line - 0115112241

ජනාධිපති ලේකම් සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක්



ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකිරීමේදී රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල සිටින බැවින්, එම පෝලිම් අවම කර ගැනීමට ජනාධිපති අරමුදල මගින් ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එම කමිටුව මගින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතු අතර, ඒ අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල ප්‍රමාණයක් මෙසේ රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා පෝලිම්වල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

මීට අමතරව රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධව සාකච්ඡා කෙරුණු අතර එහිදී වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල මුහුණ දෙන ගැටලු‍ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.