Monday, February 24, 2025

General line - 0115112241

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට හෝකන්දරදී පොලීසියෙන් වෙඩි



මාලඹේ පොලිස් වසමේ හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් අදාළ මෝටර් රථය පරික්ෂා කිරීම සඳහා නතර කිරීමට සංඥා කිරීමේදී එම මෝටර් රථය අධික වේගයෙන් පිටුපසට ධාවනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු අදාල මෝටර් රථයේ රෝදයකට වෙඩි තබා ඇති අතර මෝටර් රථය අසල තිබූ විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.

එම මෝටර් රථයේ සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථයේ රියදුරු අසුන යට සඟවා තිබියදී කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් 800ක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් පදිංචි නිවසේ තිබී තවත් කේරල ගංජා කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පැවසුවා.