ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස නවයක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඥාණසාර හිමියන් විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
එය විභාග කිරීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේ.
ඒ අනුව ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
2016 වසරේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළ කරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ධර්මයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවකට වරදකරු කෙරුණු ඥාණසාර හිමියන්ට, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් ජනවාරි මස 09 වනදා මාස 09ක ලිහිල් සිර දඬුවම් සහ රුපියල් 1,500ක දඩයක් නියම කළා.
එම දඬුවමට එරෙහිව ඥාණසාර හිමියන් විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා.
එම අභියාචනය ඉදිරිපත් කිරීමෙන් පසුව එය විභාග කොට අවසන් වන තෙක් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥාණසාර හිමියන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ ද එය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළා.
තමන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කොට තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥාණසාර හිමියන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කළා.