Tuesday, February 25, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතනයට සොයන ඉෂාරාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට



සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයායි.

ඉකුත් 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඊට අනුබල දීමේ චෝදනාව මතයි මෙම සැකකාරිය හා සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ, මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබියදී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේයි.

ඒ අනුව ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.