Sunday, March 30, 2025

General line - 0115112241

බිලියන 1,400ක ප්‍රාග්ධන වියදම් වැයකිරීම ගැන ජනපතිගෙන් දිසාපතිවරුන්ට උපදෙසක්



රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට අද උපදෙස්  ලබා දුන්නා.  

ඒ, දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීයි. 

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය සියයට 3ත් සියයට 4ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.  

ඒ අනුව ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළා.

රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවත්, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ඊට හේතුවී ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කරමින්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. 

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර  යන මහත්වරුන්  සහ  දිස්ත්‍රික් ලේකම්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.