Thursday, March 6, 2025

General line - 0115112241

දුම්රියට AI තාක්ෂණය



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ වැඩසටහනක් පරිසර අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙම මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැංවෙන බවයි පරිසර අමාත්‍යංශය පැවසුවේ.

මෙම උපාංගය දුම්රියේ සවි කිරීමෙන් දුම්රිය ධාවනයේ යෙදීමේ දී අලි ඇතුන් දුම්රිය මාර්ගයේ මීටර් 500ක් දුරින් සිටිය ද දුම්රිය රියදුරාට ඒ බව දැනුම්දීමක් සිදුවනවා.

එහිදී පර්යේෂණ මට්ටමෙන් තාක්ෂණික අත්හදාබැලීම් සිදු කිරීමට නියමිත අතර මාස තුනක කාලයක් විධිමත් අධ්‍යයනකින් පසු මෙම උපාංගය වනජීවීන් හුවමාරුවන දුම්රිය ධාවන මාර්ගයන්ට අයත් දුම්රියන්හි සවි කිරීමට අපේක්ෂිතයි. 

එමෙන්ම රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලීන් ගැටීම වැළැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර පරිසරවේදීන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව දුම්රියට බිලිවෙන අලි ඇතුන් ආරක්ෂා කරගැනීම  සඳහා දුම්රිය මාර්ගයේ  සිල්බර අතර හිස්තැන් පිරිවීම ගල්ඔය හංදිය - හිඟුරක්ගොඩ අතර 141 සැතැපුම් කණුව ආසන්නයෙන් ආරම්භ කෙරුණා. 

මෑතකදී අලිඇතුන් දුම්රියේ ගැටීමේ සිදුවීම් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසු එලෙස දුම්රිය ගමන් මාර්ග සිල්බර කොටන් අතර හිස්තැන් පිරවීම සිදු කිරීමට තීරණය කර තිබෙනවා.