හෙද සේවයේ නියුතු ශ්‍රේණි කිහිපයක හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
මෙම නියෝගය නිකුත් කළේ අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය හෙද සේවයට අයත් විශේෂ ශ්‍රේණිය, හෙද ශ්‍රේණිය 01 සහ විධායක ශ්‍රේණියට අයත් හෙද හෙදියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
එම අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.
එම අභියාචනය සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන මෙම අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.
ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් මෙම අභියාචනා විභාගය අවසන් වන තෙක් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රුවන්ත කුරේ මහතා කරුණු ඉදිරිපත් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝග නිකුත් කළා.
උදය කුමාර/--