Sunday, March 9, 2025

General line - 0115112241

කැනඩාවේ සහ මෙක්සිකෝවේ භාණ්ඩවලට පැනවූ බදු අයකිරීම ට්‍රම්ප් මාසයකින් කල් දමයි



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සහ මෙක්සිකෝව මත පැනවූ සියයට 25ක තීරුබදු සියයට 10 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මෝටර් රථ අමතර කොටස්, පොහොර ඇතුළු භාණ්ඩ කිහිපයකට එම තීරු බදු සහනය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව මෙම තීරු බදු සහනය අප්‍රේල් 2 දක්වා ක්‍රියාත්මක වනවා.

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට ස්තුතිය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැනඩා මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ අමෙරිකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා කැනඩාව පැනවූ තීරු බදුද තාවකාලිකව අත්හිටුවන බවයි.

මේ සම්බන්ධයෙන්  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තම තීරණය ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයින් සහ ගොවීන් ආරක්ෂා කරනු ඇති බවයි.

කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 25ක බද්ධක් පැනවීමේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කෙරුණේ මීට දින කිහිපයකට පෙරයි.

කෙසේවෙතත් කැනඩාව සහ මෙක්සිකෝව ඊට දැක්වූ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන අමෙරිකානු ජනාධිපතිවරයා මෙම නව තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.