Sunday, March 9, 2025

General line - 0115112241

ආණ්ඩුව ගොඩනැඟීමට කාන්තාව දුන් දායකත්වයට පෙරලා කෘතගුණ පිරිනමන බව ජනපති කියයි



ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුම බවයි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසුකාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් වුණා.

පසුගිය කාලය පුරා අප රටෙහිද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟුවද වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩනැඟීමෙහිලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත් බවත් ඒ මහා කාර්යයට රජයක් ලෙස අපගේ කෘතගුණ පෙරළා පිරිනමන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර අප තැබූ බවද ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයේ දැක්වෙනවා. 

දශක ගණනාවක් පුරා සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බව අවිවාදිත බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සිය උණුසුම් සුබපැතුම් පිරිනමන බවයි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.