Monday, March 10, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ගැන ව්‍යාජ තොරතුරු ලබාදුන් අයෙක් රිමාන්ඩ්

උදය කුමාර



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පිළිබඳ අසත්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නමැති අයෙක්.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කියා සිටියේ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය පිළිබඳව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් ලබාදීමට කටයුතු කර ඇති බවයි.

මේ තුළින් ඔහු පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් චෝදනා කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.