Tuesday, March 11, 2025

General line - 0115112241

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දු ගොනු කළ පෙත්සමක් අනිද්දා කැඳවීමට අභියාචනාධිකරණයෙන්  තීරණයක්

උදය කුමාර



තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණය මඟින් සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 12 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.    

ඒ, මෙම පෙත්සම අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විසිනුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය නීතියට පටහැනි බව සඳහන් කළා.

අදාළ සිද්ධියෙන් පසුව පොලිස් නිලධාරියකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි කිහිපයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ. 

අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බවත් එය බල ශූන්‍ය නියෝගයක් බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ අවධාරණය කළා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයාගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට උපදෙස් කිසිවක් ලැබී නොමැති බවයි.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ අත්‍යාසන්න තත්ත්වයක් මතුවී තිබෙන හෙයින් එය වැළැක්වීම සඳහා කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස යළි ඉල්ලා සිටියා. 

එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ “අද පෙරවරුවේ තමයි මේ නඩුකරයට අදාළ නඩු ගොනුව මගේ අතට පත් වූණේ.

මේ පෙත්සම තුළ අන්තර්ගත කරුණු මොනවාද කියලවත් මම තාම දන්නෙ නෑ.

ඒ නිසා වගඋත්තරකරුවන්ට නොතිසි ලබා දීමෙන් පසුව මේ පෙත්සම කරුණු තහවුරු කිරීම සුදුසුයි කියලා මම හිතනවා” යනුවෙන් වැඩ බලන සභාපති විනිසුරුවරයා කියා සිටියා. 

යළි අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, “ස්වාමීනී අඩුම ගානේ මගේ සේවාදයකයා අත්අඩංගුවට නොගන්නා බවට වගඋත්තරකාර පාර්ශවය විසින් පොරොන්දුවක්වත් ලබා දිය යුතුයි” යනුවෙන් ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා, “පෙත්සම්කරු සතියක් විතර කරදරයක් නැතුව හිටියනේ. ඉදිරියටත් එසේ හිඳීවි” යනුවෙන් සඳහන් කළා.

ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් අනතුරුව, එම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙසයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි වත්මන් අධ්‍යක්ෂ  පී. අම්පාවිල ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටින්නේ වැලිගම පොලිසිය විසින් සිදුකළ මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන තිබෙන බවත් ඊට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ බලපෑම් සහිතව සිදුවන බවයි. 

එම නිසා අදාළ පරීක්ෂණය දේශපාලන බලපෑම් සහිත පක්ෂපාතී මෙන්ම ද්වේශ සහගත ආකාරයෙන් තමා ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන පරීක්ෂණයක් බවත් ඔහු සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර ගැනීමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට පටහැනි වන අතර ඉන් අනතුරුව තමන්ගේ විදේශ ගමන් තහනම් කරමින් ඉකුත් 01 වනදා  නියෝගයක් නිකුත් කර තිබෙන බව ජනමාධ්‍ය ඔස්සේ දැන ගත් බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෙත්සමෙන් කියා සිටිනවා. 

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු එම නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අයගේ මැදිහත්වීමෙන් අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සිදු කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි උ 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවු අතර එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස් සැරයෙන්වරයකු මරණයට පත් වුණා. 

මීට අදාලව පැවැත් වූ සාක්ෂි විභාගයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා නියෝගයක් නිකුත් කර තිබුණා.