Wednesday, March 12, 2025

General line - 0115112241

බෝග වගාවන්ට හානි කරන වන සත්ව සංගණනය වෙනුවෙන් මෙහෙයුම් මැදිරියක්



බෝග වගාවන්ට හානි කරන වන සත්ව සංගණනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමේ මූලික පියවරක් වශයෙන් වන සත්ව හානි අවම කිරීමට අදාළ විශේෂ කමිටුවක් ඉකුත් දා පත් කෙරුණා.

එම විශේෂ කමිටුවේ උපදෙස් පරිදියි, වගාවට වැඩි වශයෙන් හානි කරන වඳුරා, රිලවා, මොනරා සහ දඞුලේනා යන සත්වයන් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි ගණනය කිරීම සඳහා වන සත්ත්ව සංගණනයක් සිදු කිරීමට යෝජනා වී ඇත්තේ.

ඒ අනුව එළඹෙන මාර්තු මස 15වන දින පෙරවරු 08 සිට 8.05 දක්වා කාලය තුළ දිවයින පුරා මෙම සංගණනය පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතිනවා.

එළඹෙන 15 වෙනිදා පැවැත්වෙන සත්ව සංගණනය වඩාත් නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් මැදිරියක් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා.

සත්ව සංගණනයේදී යම් ගැටළුවක් පැන නැගුණහොත් ඒ පිළිබඳ විමසීමක් සිදු කිරීමට ලබන 15 දින දක්වා මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මකයි.

යම් ගැටළුවක් වෙතොත් මෙහෙයුම් මැදිරියේ 011- 203 43 36 දුරකථන අංකය අමතා විමසීමක් කළ හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

වගාවට හානි සිදු කරන වනසතුන් ප්‍රමාණය සළකුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රිකාව තමන් වෙත ලැබී නොමැති නම්, ඒ පිළිබඳ කලබල නොවී අදාළ කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳ යම් සටහනක් තබා ගන්නා ලෙස  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටිනවා.