Wednesday, March 12, 2025

General line - 0115112241

අනුරාධපුර වෛද්‍යවරිය කෙලෙසූ සැකකරු ගැන තොරතුරු රැසක් හෙළිවේ



අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදෑසන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව ප්‍රදේශයේදීයි.

සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ දිනයේ දීම හඳුනාගෙන තිබූ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. 

ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවටද අද දැනුම් දුන්නා. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය ද මේ වනවිට හෙළි කරගෙන තිබෙනවා.

ඔහු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇති බවටයි පැවසෙන්නේ. 

34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස ද පෙනී සිට ඇති බවට පැවසෙන ඡායාරූපද මේ වන විට සමාජමාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙනවා.

ඔහු යුද හමුදා සේවයෙන්ද පළා ගොස් සිටි අයෙක්.

සැකකරු විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි මෙම වෛද්‍යවරිය දූෂණය කර තිබුණේ පෙරේදා රාත්‍රියේයි.

ඇය සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර සිය පොරොත්තු රාජකාරී අවසන් කර තිබුණේ රාත්‍රී 7ට පමණයි.

පසුව රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ඇය ගමන් කර තිබුණා.

එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බවටයි වාර්තා වුණේ.

වෛද්‍යවරියට කෑ ගැසීමට පවා ඉඩ නොදී ඇය ලවාම නිල නිවසේ දොර විවෘත කරවාගෙන සැකකරු වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී ඇති බවටද මේ වන විට වාර්තා පලවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත්තේ අදාළ වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි තිබූ දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දීමත් සමගයි.

මේ අතර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද රැගෙනයි.

පසුව වෛද්‍යවරියගේ තවත් දුරකතනයකින් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය කළ වැඩිදුර විමර්ශනයේදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී ඇතැයි හෙළි වී තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ කළ පුළුල් මෙහෙයුමකින් අනතුරුව සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී අද අත්අඩංගුවට ගැණුනා.