අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අද අවසර ලබා දුන්නා.
ඒ, පොලීසිය මගින් අදාළ සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එලෙස රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේ මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන ගල්නෑව නව නගරයේ පදිංචි නිලන්ත මදුරංග රත්නායක නැමති 34 හැවිරිදි අයෙකුටයි.
මෙම සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එම්. ඒ.ගුණතිලක මහතා හමුවට ඉදිරිපත් කෙරුණා.
සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු දෙකට නැමි අපහසුතාවෙන් සිටින අයුරු දුටු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුට කෙලින් සිටින ලෙස දන්වා තිබෙනවා.
එම අවස්ථාවේදී සැකකරු පවසා ඇත්තේ පොලිසියෙන් තදබල ලෙස තමන්ට පහරදී, හිංසා කිරීම හේතුවෙන් තමන් අපහසුවෙන් සිටින බවයි.
සැකකරුගේ එම ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අනුරාධපුර පොලීසියට නියෝග කළේ නැවත සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර, එකී අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මේ අතර මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැණුනු ප්‍රධාන සැකකරුගේ සහෝදරිය සහ තවත් සැකකරුවෙකු මෙම මස 17 වනදා දක්වා රක්ක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ප්‍රධාන සැකකරුට රැකවරණය ලබා දීමේ චෝදනාව මත ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගැණුනු අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජංගම දුරකතන සොරකමකට අදාළවයි.