අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු යුද හමුදා සෙබළා මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළා.
එදිනට සැකකරු හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තවදුරටත් නියෝග කළේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තවදුරටත් නියෝග කළා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්නෑව නව නගරයේ පදිංචිකරුවෙකු වන නිලන්ත මදුරංග රත්නායක නමැත්තෙක්.
මෙම අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු පොලිසිය හා විශේෂ කාර්ය බළකා ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නෑව නිදිකුම්භායාය ප්‍රදේශයේදීයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටි බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
උපාලි ආනන්ද