Saturday, March 15, 2025

General line - 0115112241

නීති විරෝධී පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

උදය කුමාර



නීති විරෝධී පිරමීඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන ගොස් රට පුරා තැන්පතුකරුවන්ගෙන් රුපියල් බිලියන 1යි දශම 5කට අධික මුදලක් ලබාගෙන අනිසි පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි  මහත්මිය ලබා දුන් නියෝගයකට අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් “ස්මාර්ට්  වින්” නමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන එලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ එම සැකකරුවන් වල්ලපට්ටා පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යන බව සඳහන් කරමින් එක් පැළයක් සඳහා රුපියල් 30,000ක් බැගින් තැන්පතුකරුවන්ගෙන් ආයෝජන ලෙස ලබාගෙන ඇති බවයි. 

ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස එම සමාගම පවත්වාගෙන ගොස් තිබෙනවා. එලෙස නීති විරෝධී ලෙස රට පුරා ජනතාවගෙන් ලබාගෙන ඇති තැන්පතු මුදල්වල වටිනාකම රුපියල්  බිලියන 1යි දශම 5කට අධික බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. 

සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ඇතුළු මූල්‍ය රෙගුලාසි යටතේ තවදුරටත් විමර්ශන සිදු කරන බවට පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි  මහත්මිය අදාළ සැකකරුවන් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ.