ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම තුළ පදිංචි සහෝදරයින් දෙදෙනකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ, ග්‍රාන්ඩ්පාස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන සිදු කරන හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ගේ විරුද්ධවාදීන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි සැකකරුවන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.