Thursday, March 20, 2025

General line - 0115112241

ගාසා තීරයට දරුණු ප්‍රහාරයක් - දෙසීයකට වැඩි පිරිසක් මරුට



ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.  

ඒ, සටන් විරාම ගිවිසුමත් සමඟ මෙතෙක් පැවති සාමකාමී වටපිටාව කඩ කරමින්.

හමාස් සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 220ක් පමණ මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පැවසුවේ හමාස් ත්‍රස්ත ඉලක්ක වෙත මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

නවතම වාර්තාවලට අනුව හමාස් ආරක්ෂක නිලධාරියෙකු වන මහමුද් අබු වෆා ප්‍රහාරයෙන් මියගොස් ඇති බවටයි පැවසෙන්නේ.

මේ දිනවල ඉස්ලාම් භක්තිකයින් රාමාසාන් මාසය සමරමින් සිටින බැවින් බොහෝ දෙනෙකු අළුයම ආහාර ගනිමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා.

ඊශ්‍රායල් යුද ගුවන් යානා 20කට වැඩි ප්‍රමාණයක් ප්‍රහාරයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ ගාසා නගරයේ හා රෆා ප්‍රදේශයයි.

ජනවාරි 19 වනදා හමාස් - ඊශ්‍රායල් සටන් විරාමය ආරම්භ වූ දා සිට ගාසා තීරයට එල්ල වූ දැවැන්තම ප්‍රහාරය මෙයයි.

සටන් විරාමය ඉකුත් මාර්තු පළමු වනදායින් අවසන් වුණා.

ප්‍රහාරය සඳහා නියෝග දී තිබුණේ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින්.

කෙසේවෙතත් සටන් විරාමය උල්ලංඝනය කරමින් ඊශ්‍රායලට ප්‍රහාර එල්ල කරනවාද යන්න සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.