(Update)
සිය ආරක්‍ෂාව ඉවත් කිරීමට එහෙිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
මෙම පෙත්සම ගොනු කර තිබුණේ නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයා දී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය හැට දෙනෙකු දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින්.
මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අධිකරණය හමුවට පැමිණ සිටින්නේ වරප්‍රසාද දිනා ගැනීමේ අපේක්ෂාවෙන් නොව ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණ යැයි සඳහන් කළා.
තිස් වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට තම සේවාදායකයා නායකත්වය දුන් බවත් එම නිසා ඔහු කොටි සංවිධානයේ ප්‍රබල ඉලක්කයක් බවට පත් වී තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරුණා. එබැවින් ඔහුගේ ජීවිතයට' මේ අවස්ථාව වන විටත් ප්‍රබල තර්ජනයක් පවතින බවයි පෙන්වා දුන්නේ.
අමෙරිකාව, කැනඩාව, බි්‍රතාන්‍යයෙන් මෙන්ම යුරෝපා සංගමය රටවල් වල එල් ටී ටී ඊ සංවිධානය ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක වනවා.
එල් ටී ටී ඊ හිතවාදීන්ගේ බලපෑම් නිසා තම සේවාදායකයා හා ඔහුගේ සහෝදරයින් යුධ අපරාධකරුවන් සේ සලකා ඔවුන්ට කැනඩාව තුළට ඇතුළුවීම වළක්වාලමින් එරට රජය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.
විශේෂයෙන්ම ඉන්දියාව එල් ටී ටී ඊ සංවිධානය තහනම් කිරීමේ නිවේදනය තුළ “2009 වසරේ යුද්ධයෙන් පරාජයට පත්වුවත් කොටි සංවිධානය ඊලාම් සංකල්පය අතහැර නොමැති බවත් ඔවුන් ඒ වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන බවත්” දක්වා තිබුණේ යැයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළ එම කරුණ මත ඉන්දියාව තුළ කොටි සංවිධානය තහනම් කරනු ලැබූ බවත්' පෙන්වා දුන්නා.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කළ විමසීමකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ආරක්ෂාව අඩු කිරීමට පෙර තම සේවාදායකයාට නිලධාරීන් 203 දෙනෙකුගේ ආරක්ෂාව සපයා දී තිබූ බවයි.
එම ආරක්ෂාව ඉකුත් ඔක්තෝබර මස 31 වන දා නිලධාරින්' 60 දෙනෙකු දක්වා අඩු කිරීමට කටයුතු කෙරුණු බවයි ප්‍රකාශ කෙරුණේ. මේ වන විට සේවා මුර අනුව කටයුතු කිරීමේදී එක් අවස්ථාවක යෙදවනු ලබන්නේ නිලධාරීන් හය දෙනෙකු හෝ හත් දෙනෙකු පමණක් බවත් අනාවරණය කළා.
ඉන් අනතුරුව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුවේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව ඇගයීම් සිදු කිරීමේ විශේෂඥ කමිටුවක් විසින් බව සඳහන් කළා.
එම විශේෂඥ කමිටුව ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ගෙන් සමන්විත වන අතර එම කමිටුව 2015 වසරේ සිට අඛන්ඩව ක්‍රියාත්මක වූ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.
2020 වසරේ පෙත්සම්කරු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වූ අවස්ථාවේදී ද ඔහුගේ ආරක්ෂක ඇගයීම් සිදු කළේ මෙම කමිටුව විසින් බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම කමිටුව වරින් වර සියලුම හිටපු ජනාධිපතිවරුන්ගේ හා ප්‍රභූවරුන්ගේ ආරක්ෂක ඇගයීම් සිදුකොට ආරක්ෂාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරන බවත් පෙන්වා දුන්නා.
ඒ තුළින් කිසිදු පුද්ගලයෙකට විශේෂත්වයක් දැක්වීමට කටයුතු නොකෙරෙන අතර එක් පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි පෙන්වා දුන්නේ.
අතිරේක සොලිසිටර් ජෙනරාල් රෝහන්ත අබේසුරිය මහතා පැවසුවේ මේ තුළින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී නොමැති බවයි.