Friday, March 21, 2025

General line - 0115112241

ඉන්දු - නවසීලන්ත නායකයින් අතර හමුවක්



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම හමුව සිදුවූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නවදිල්ලියේ පැවැත්වෙන රයිසිනා සමුළුවට සහභාගී වීම සංචාරයේ අරමුණයි.

කෙසේවෙතත් සමුළුවට සමගාමීව පැවැති දෙරටේ නායකයින්ගේ ද්විපාර්ශවීය හමුවේදී දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට දෙරටේ කැපවීම යළි තහවුරු කර තිබෙනවා.

හමුවෙන් අනතුරුව පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ ප්‍රහාර උපුටා දක්වමින් ත්‍රස්තවාදය පිළිබඳ කනස්සල්ල පල කර තිබෙනවා.

2019 දී ක්‍රයිස්චර්ච් හි පල්ලියකට එල්ල වූ විනාශකාරී ප්‍රහාර සහ මුම්බායි හි 26/11 ඛේදවාචකය උපුටා දක්වමින් ත්‍රස්තවාදය සෑම ආකාරයකින්ම පිළිගත නොහැකි බවයි අගමැති මෝදි අවධාරණය කළේ.

ත්‍රස්තවාදී අපරාධකරුවන්ට සහ බෙදුම්වාදී කොටස්වලට එරෙහිව දැඩි පියවර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු එහිදී අවධාරණය කළා.