රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් නෙත් නිවුස් මීට නොබෝ වේලාවකට පෙර කළ විමසීමකදී බන්ධනාගාර ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවයි.
ඔහු අධිකරණය වෙත රැගෙන ඒම සඳහා පෙරවරු 06 සිට බන්ධනාගාර නිලධාරීන් සූදානම් කර සිටි බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ කුටියක රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 02ට බවද මෙහිදී අනාවරණ වුණා.
බන්ධනාගාර ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යාමට පොලීසියෙන් විශේෂ ආරක්‍ෂාවක් ඉල්ලා ඇති බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ දිනයේ අධිකරණයට භාර වීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර බන්ධනාගාරයේ රැඳවිය යුතු වුවත් ඔහුගේ ආරක්‍ෂාව පිළිබඳ සලකා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කිසිදු රැඳවියෙකුට නොගැටෙන සේ වෙනම සිරමැදිරියක රැඳවීමටයි තීරණය කෙරුණේ.
දින 20ක් සැඟවී සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.
ඒ, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් පවා නිකුත් කර තිබූ පසුබිමකයි.