Friday, March 21, 2025

General line - 0115112241

එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමේ විධායක නියෝගයකට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි



එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීම ආරම්භ කිරීමේ නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

2024 මැතිවරණ ප්‍රචාරක සමයේ ලබා දුන් පොරොන්දුවක් අනුව අමෙරිකානු ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කටයුතු අත්හිටුවා එම අධිකාරී බලය ප්‍රාන්ත ආණ්ඩු වෙත පැවරීමටයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත්තේ.

මෙම නියෝගය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍ය වන අතර එවැනි අනුමැතියකින් තොරව අමෙරිකානු ජනාධිපතිවරයා විධායක බලය යොදා ගනිමින් මෙම තීරණයට එළඹ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

මෙම නියෝගයෙන් ශිෂ්‍ය ණය කපා හැරීමට පසුගිය පාලනයන් ගෙන තිබූ තීරණ අත්හිටුවා ඇති අතර එමගින් අමෙරිකානු ශිෂ්‍යයින්ට අත්හිටවූ ණය නැවත ගෙවා දැමීමට සිදුවනු ඇති.

අමෙරිකාව අධ්‍යාපනයට විශාල මුදලක් වැය කළද සාර්ථකත්වය අනුව පහළම ස්ථානයක සිටින බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

ෆින්ලන්තය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය වැනි රටවල අධ්‍යාපන මට්ටමට අමෙරිකාව රැගෙන ඒම සිය අපේක්‍ෂාව වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.