Tuesday, March 25, 2025

General line - 0115112241

දෙවිනුවර ඝාතන සිද්ධියට අදාලව කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට



දෙවිනුවර දේවාලය අසලදී දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාලව කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගන්දර පොලිස් ස්ථානෙයේ නිලධාරින් විසින්.

අත්අඩංගුවට ගත් සැකකාරිය හා අනෙක් සැකකරුවන් අවුරුදු 23ත් 46ත් අතර වයස්වල පසුවන ගන්දර හා දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ.

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගය අසලදී පසුගිය 21 වනදා රාත්‍රී සිදුකල එම වෙඩි තැබීමෙන් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එම තරුණයින් දෙදෙනාට, වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් ටී - 56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි දෙකක් භාවිත කර එම වෙඩි තැබීම සිදුකොට පලා ගොස් තිබුණා. 

දැනට ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදු කරන පටබැදී මද්දුමගේ ෂෙහාන් සත්සර නොහොත් ‘බාලේ මල්ලීගේ’ පාර්ශවයෙන්, ‘දෙහි ගෙදර’ පාර්ශවයේ තරුණයන් දෙදෙනෙකු එලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළව කලක සිට එම පාර්ශව දෙක අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස එලෙස තරුණයන් දෙදෙනා ඝාතනය කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. 

මේ අතර බොරැල්ල, ඕවල් ක්‍රිඩාංගණය අසලදී ජීව පතරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ටී-56 ජීව පතොරම් 07ක් සහ ඛඵඨ පතොරම් 01ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.