2015 වසරේ ජනාධිපතිවරණය දා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියූර්දීන් මහතාගේ ඡන්දදායකයින් පිරිසක් පුත්තලමේ සිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්නාරමට ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයකට තන්තිරිමලේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සිවිල් ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකු සහ සෙබලෙකු ඔවුන්ට එරෙහිව පැවති එකී චෝදනාවන්ට අධිකරණය හමුවේ අද වරද පිළිගනු ලැබුවා.
විත්තිකරුවන් මෙලෙස වරද පිළිගනු ලැබූවේ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී එච් ඩබ් ඩී එල් සමරසිංහ මහත්මිය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීයි.
නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර සිවිල් ආරක්ෂක සෙබලුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා කියා සිටියේ ලංගම බස් රථයකට සිදුව ඇති අනර්ථය වෙනුවෙන් ඊට අදාළ මුදල ගෙවා නඩුව සමථයකට පත් කර ගැනීමට විත්තිකරුවන් සූදානම් බවයි.
මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් මාස හය බැගින් සිරදඬුවම් නියම කර එම සිරදඬුවම වසර පහකට අත් හිටුවීමට නියෝග කළා.
ඊට අමතරව බස් රථයට සිදුව ඇති අනර්ථය වෙනුවෙන් විත්තිකරුවන් දෙදෙනා එක්ව මුදලින් රුපියල් විසි අටදහස් හාරසිය අනූවක වන්දියක් රජයට ගෙවන ලෙසට ද නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊට අමතරව වෙන් වෙන් වශයෙන් රුපියල් 1,500 බැගින් දඩ මුදල් ගෙවන ලෙසට ද තවදුටරත් නියෝග කරනු ලැබුවා.
දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් විත්තිකරුවන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් මාස එකක සිර දඬුවමකට යටත් කෙරුණා.
මෙලෙස දඬුවම් නියම වූයේ දැනට තන්තිරිමලය, තම්බියාව සිවිල් ආරක්ෂක බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක ජ්‍යෙෂ්ඨ නියාමක කේ විජිත කුමාරතුංග සහ සිවිල් ආරක්ෂක සෙබල නලින්ද ධම්මික නන්දසේන යන විත්තිකරුවන්ටයි.