එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට හේතුව අදාල නෞකාවේ ගබඩා කර තිබූ නයිටි්‍රක් අම්ල කාන්දුවීම බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
මෙම කරුණු හෙළි වූයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය සහ ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද යලි විභාගයට ගත් අවස්ථාවේදීයි.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ධීවර ප්‍රජාව විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාග සිදුවනවා.
එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අදාල නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන බවයි.
අදාල නෞකාවේ ගබඩා කර තිබූ නයිටි්‍රක් අම්ල කාන්දුවීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.
ඊට එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම එහි හිමිකාර සමාගම වගකිවයුතු බවයි ඔහු එහිදී අවධාරණය කළේ. අදාළ නෞකාව තුළ තිබූ නයිටි්‍රක් අම්ල අඩංගු බහාලුම් දෙකකින් මෙම අම්ල කාන්දුව සිදුවී තිබෙනවා.
ඒ පිළිබඳ දින නවයක් තිස්සේ දැනුවත්ව සිටියද එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නෞකාවේ බලධාරීන් කටයුතු කර නොමැති බවත් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම ඛේදවාචකය හටගත් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළා.
මේ සම්බන්ධයෙන් වග උත්තරකරුවන් වෙත වගකීම් පැවරිය නොහැකි යැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, ඊට අදාලව සුදුසු අධිකරණවල නඩු පවරා අදාල නෞකාවේ හිමිකරුවන්ගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කියා සිටියා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව පෞද්ගලික පාර්ශවයන්ගෙන් වන්දි අයැද සිටීමට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් හැකියාව නැහැ.
එහෙත් මීට අදාළව වන්දි අය කරදෙන ලෙස ඉල්ලා රජය විසින් ගොනුකර තිබෙන නඩුවලට අදාළ වන්දි මුදල් ලැබීමෙන් පසුව පීඩාවට පත් වුවන්ට වන්දි ගෙවීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.