අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 01 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළා.
ඒ, 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාල පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවකට අනුවයි.
ලබන 01 වනදා වන විට මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත් අධිකරණය මෙහිදී අල්ලස් කොමිසමට නියම කළේ.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ සමන්ත විද්‍යාරත්න නැමැත්තකු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.
2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා මෙම සැකකරු විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා තිබෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිණිය අධිකරණය හමුවේ කියා සිටියා.
එම බැංකුව විසින් අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සැකකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විසින් එම බැංකුවේ තිබූ ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල් පිරීමට මත්තෙන් ඉවත් කරගෙන තිබෙන බවත් මේ තුළින් එම පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකර ඇති බවයි ඇය අධිකරණය හමුවේ කියා සිටියේ.
2016 වසරේ මෙම පැමිණිල්ල ඉදිරිපත් වුවද පසුගිය කාලසීමාව තුළ එහි සාක්ෂිකරුවන්ට තිබූ බලපෑම් හේතුවෙන් විමර්ශන කටයුතු නිමා කර ගැනීමට නොහැකිවූ බවත් එම නිලධාරිනීය අධිකරණය හමුවේ කියා සිටියා.
උපුටා ගැනීම.
“ස්වාමීනි... සාක්ෂිකරුවන් සියලු දෙනා පදිංචිව සිටින්නේ මෙම සැකකරුට අයත් බල ප්‍රදේශයේ. ඔවුන්ට බලපෑම් තිබුණා. ඒ නිසයි සාක්ෂි දීමට ඉදිරිපත් නොවුණේ. ඒ වගේම දේශපාලන අධිකාරීයෙනුත් බලපෑම් තිබුණා. ෆයිල් එකක් ආවම වහල දාන්න කියනවා.” යනුවෙන් එම නිලධාරිනිය අධිකරණය හමුවේ සඳහන් කළා.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ ඉදිරිපත් වූ පැමිණිල්ල සම්බන්ධයෙන් 2019 වසරේ තම සේවා දායකයා අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දුන් බව පැවසුවා.
ඉන් අනතුරුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අල්ලස් කොමිසම දේශපාලන පළිගැනීමක් වශයෙන් තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් කියා සිටියා.
අල්ලස් කොමිසම යනු ස්වාධීන කොමිෂන් සභාවක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට බලපෑම් සිදුවන බව එම කොමිසමේම නිලධාරීන් ප්‍රකාශ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකල යුතු බවත් සඳහන් කළා.
තම සේවාදායකයා කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කර ඇති බවට කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාල සැකකරු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා.
මේ අතර 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් හා මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් අනුග්‍රහය වශයෙන් ලබාගෙන ඒවා පළාත් සභාවේ ගිණුම්වලට බැර නොකොට චාමර සම්පත් දසනායක පදනම යටතේ මුදලින් ලබා ගත්තේ යැයි සැකපිට ඉදිරිපත් කර තිබූ තවත් පැමිණිලි දෙකකට අදාලව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව එක් එක් පැමිණිල්ල සඳහා සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට ද නියම කෙරුණා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා.
ඉන් අනතුරුව එම පැමිණිලි දෙක අගෝස්තු මස 29 වනදා කැඳවීමට ද නියම කෙරුණා.