රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන සිටිනවා. තවත් රැඳවියන් දසදෙනෙකු පමණ රඳවා සිටින එම බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක් වන ‘එම්’ වාට්ටුවේ මන්ත්‍රීවරයා රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර ඊයේ රාත්‍රියේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාව බන්ධනාගාර වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබූ බවද වාර්තා වුණා.
අල්ලස් කොමිෂම මගින් ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 01 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ නියෝග කළා.
ඒ, 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවකට අදාළවයි.