Monday, March 31, 2025

General line - 0115112241

අමෙරිකාව සමග පැවති පැරණි සබඳතා අවසන් බවට කැනඩා අගමැතිගෙන් ප්‍රකාශයක්



අමෙරිකා එක්සත් ජනපදය සමග පැවති ආර්ථික සහ මිලිටරි සහයෝගීතාව මත පදනම් වූ පැරණි සබඳතා අවසන් බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කානි පවසනවා.

ඔටාවාහි පැවති කැබිනට් රැස්වීමකින් පසු වාර්තාකරුවන් අමතමින් කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ කැනේඩියානුවන් සිය ආර්ථිකය සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවයි. ආනයනික වාහන සහ අමතර කොටස් සඳහා සියයට 25ක බද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණයට කැනඩාවද උපරිම බලපෑමක් ඇති කරන ප්‍රතිචාරයක් දක්වන බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ. 

1965 වසරේදී අත්සන් කරන ලද කැනඩා - අමෙරිකා මොටර් රථ නිෂ්පාදන ගිවිසුම සිය ජීවිත කාලය තුළ වැදගත්ම ගනුදෙනුව ලෙසයි කැනඩා අග්‍රාමාත්‍යවරයා හඳුන්වා දී ඇත්තේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීමත් සමග එම ගිවිසුම අවසන් බවද කැනඩා අග්‍රමාත්‍යවරයා පවසා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ බදු පැනවීම හමුවේ ගත යුතු වෙළඳ විකල්ප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔටාවාහි පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන්.