Saturday, April 5, 2025

General line - 0115112241

අමෙරිකානු බදු නිසා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අවදානමක



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් මෙරට ඇඟලුම් කර්මාන්තයට බලපෑම් එල්ලවිය හැකි බව ආර්ථික විශ්ලේෂක, ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට ලැබෙන ඇනවුම් ප්‍රමාණයද පහළ යාමේ අවදානමක් ඇති බවයි.

ඇඟලුම්වලට අමතරව රබර් සහ තේද ශ්‍රී ලංකාව විසින් අමෙරිකාවට අපනයනය කරන බවත් එම භාණ්ඩ කෙරෙහි අමෙරිකානුවන්ගේ ඉල්ලුම අඩු වුවහොත් එහි බලපෑමද ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ගත් මෙම පියවර ලෝක ආර්ථිකයට කෙසේ බලපායිද? 

අමෙරිකාව පනවා ඇති සියයට 44 බද්ද ශ්‍රී ලංකාවට දරාගත හැකිද? 

ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අමෙරිකානු තීරු බදු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ තීරුබදු ප්‍රතිපත්තිය සහ ගෝලීය වෙළඳාම ශක්තිමත් කර ගැනීමට මෙමගින් අවස්ථාවක්ද උදා වී ඇති බවයි. 

ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අවම බද්දක් පැනවීමටයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ. නව බදු හේතුවෙන් බලපෑමට ලක්වන රටවල් සංඛ්‍යාව සියයක්.

ශ්‍රී ලංකාවටද සියයට 44ක බද්දක් පැනවූ අතර ශ්‍රී ලංකාව අයත් වන්නේ ඉහළම බදු අගයක් අය කරන රටවල් 05 අතරටයි. 

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ 2024 වර්ෂයේ අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ඩොලර් බිලියන තුනකට වැඩි භාණ්ඩ ලබාගෙන ඇති බවයි.

මේ වසරේ ජනවාරි මාසයේ පමණක් ලබාගෙන ඇති භාණ්ඩ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලිනය 346කට අධික වනවා. ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට වැඩියෙන්ම අපනයනය කරන්නේ ඇඟලුම්.