කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කලා.
ඊට අමතරව අමතරව හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින්ද අධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා
සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් එය කල්දැමීම තුළින් රජයට මූල්‍යමය වශයෙන් විශාල හානියක් සිදුවන බව පෙන්වා දුන්නා.
එම අවස්ථාවේදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා සඳහන් කළේ මෙම පෙත්සම කඩිනමින් විභාග කොට තීන්දුවක් ලබාදීමට සූදානම් බවයි.
මෙම පෙත්සම්බවලට අදාළ විරෝධතා ඔබ හෙට දින ගොනු කරන්නේ නම් මෙම නිවාඩු කාලය තුළ පෙත්සම විභාග කොට තීන්දුව ලබාදීමට අධිකරණය සූදානම් බවත් ඔහු පැවසුවා.
එම අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට සති තුනක කාලයක් ලබාදන ලෙසයි.
ඒ අනුව මෙම පෙත්සම් වලට අදාල විරෝධතා මැයි 05 වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.
ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වනදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වන දා පැවැත්වීමටද නියම වුණා.
නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
මේ අතර උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උප ලේඛනය යටතේ සිදු කළ යුතු දිවුරුම විධිමත්ව සිදු නොකිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 53 ක් යලි බාරගන්නා ලෙස අදාල තේරුම් බාර නිලධාරින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අලුතින් ගොනු කෙරුණු පෙත්සම් ද සලකා බැලීම සඳහා අභියාචනාධීකරණය හමුවේ අද කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නාම යෝජනා සඳහා ඉදිරිපත් කළ සාම විනිසුරුවරු විසින් සහතික කළ උප්පැන්න සහතික සහිත නාම යෝජනා භාරගත හැකි බවට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උපලේඛනය යටතේ සිදු කරනු ලැබූ ගැටලු පැවති නාමයෝජනා භාරගත හැකි අභියාචනාධිකරණය විසින් ඉකුත් සිකුරාදා පෙරවරුවේ තීන්දුවක් ලබා දුන් බව පැවසුවා.
එහෙත් එදින සවස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ පෙත්සම් සම්බන්ධයෙන් දුන් තීන්දුවක සටහන් කර තිබුණේ සාම විනිසුරුවරයා විසින් සහතික කළ උප්පැන්න සහතික පිළිගත නොහැකි බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත් වන උපලේඛන යටතේ සිදු කරනු ලබන දිවුරුම සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන අනිවාර්යෙන්ම පිළිගත යුතු බවට තීන්දු කර තිබූ බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට තීරණයක් ලබා දී ඇති නිසා ඊට අදාළව ගොනුකරන නව පෙත්සම් සලකා නොබලන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා දැඩි විරෝධය පළ කර සිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් එය සිදුකර තිබෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව බවත් එය තීන්දුවක් වශයෙන් සැලකිය නොහැකි බවත් මුස්තාෆා මහතා තර්ක කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම කරුණු වලට අදාළව අලුතින් ගොනු කරන ලද පෙත්සම් සලකා බැලීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය ලබන 10 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළා.