Tuesday, April 15, 2025

General line - 0115112241

චීන භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 104ක බද්දක්



චීන ආනයන සඳහා සියයට 104ක තීරුබදු පනවන බව අමෙරිකාව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. 

එය අමෙරිකානු වේලාවෙන් අද සිට ක්‍රියාත්මක වනු ඇති. 

ඉකුත් මාර්තු මාසයේදී අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා සියයට 20ක බද්දක් පැන වූ අතර ඉකුත් සතියේ තවත් සියයට 34ක බද්දක් පනවනු ලැබුවා. 

ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ද පෙරලා අමෙරිකානු භාණ්ඩවලට සියයට 34ක බද්දක් පැන වූවා. 

එය පළිගැනීමක් ලෙසටයි අමෙරිකාව චෝදනා කළේ. ඒ අනුව එම බදු ඉවත් නොකලහොත් චීන භාණ්ඩ සඳහා තවත් සියයට 50ක නව තීරුබදු පනවන බවට අමෙරිකාව අනතුරු අඟවා තිබුණා. 

ඒ අනුව චීනය එම බද්ද ඉවත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි චීනයේ ඇතැම් භාණ්ඩ සඳහා පැනවෙන අමෙරිකානු බදු ප්‍රමාණය සියයට 104ක් දක්වා ඉහළ නංවා ඇත්තේ. 

ධවල මන්දිරය පවසන්නේ චීනයේ පළිගැනීම වැරදි ක්‍රියාවක් බවයි. 

එබැවින් ඔවුන්ට එරෙහිව සියයට 104 තීරුබදු ක්‍රියාත්මක කළ බව ධවල මන්දිරය පවසා තිබෙනවා. 

චීනය එකඟතාවක් සඳහා අත දිගු කළහොත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ”ඇදහිය නොහැකි තරම් කරුණාවන්ත” වනු ඇති බවයි ධවල මන්දිරය පවසා ඇත්තේ. 

නමුත් ඇමරිකාවේ අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි ධවල මන්දිරය අවධාරණය කරනවා. 

අමෙරිකාව පැනවූ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් 70ක් එකඟතාව පළ කර ඇතැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් තහවුරු කර තිබෙනවා. 

එහෙත් ඇය පවසා ඇත්තේ ඕනෑම ගනුදෙනුවක් අමෙරිකානුවන්ට යහපත්ද යන්න කෙරෙහි අවධානය යොමු කරන බවයි.

අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළ තීරු බදු බොහෝ රටවලට ක්‍රියාත්මක වන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිටයි. 

අමෙරිකානු වාර්තාවලට අනුව අද රාත්‍රියේ සිට බදුවලට මුහුණ දීමට සිදු වන රටවල් සංඛ්‍යාව 60 කට ආසන්නයි.