Sunday, April 13, 2025

General line - 0115112241

ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘Outstanding Food Service by a Carrier – South Asia’ සම්මානය හිමිකරගනී.



ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා පැවති PAX Readership Awards 2025 හිදී ‘Outstanding Food Service by a Carrier – South Asia’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. 

මෙම සම්මාන උළෙල 2025 අප්‍රේල් 09 දින ජර්මනියේදී පැවැත්විණි. 

තම ගුවන් යානාවල ගමන් කරන මගීන්ට උසස්ම ප්‍රමිතියෙන් යුත් ප්‍රණීත ආහාරපාන පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත මෙම සම්මානය හිමි විය. 

PAX Readership සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ PAX International සහ PAX Tech යන සඟරා විසිනි. 

ලොව පුරා විසිරී සිටින ගුවන් සේවා වෘත්තිකයන් 15,500 කට අධික පිරිසකගේ මනාපය අනුව එහි ජයග්‍රාහකයන් තීරණය කරනු ලැබේ. 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාණිජ කටයුතු ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා  පවසා සිටියේ මෙවැන්නක් 

“අප වෙනුවෙන් මනාප ප්‍රකාශ කළ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය හිමි වනවා. 

ගුවන් ගමනක් අතරතුරදී ලබාදෙන ආහාරපාන යනු එම ගුවන් ගමන වඩාත් ප්‍රසන්න අත්දැකීමක් බවට පත්කිරීම සඳහා බලපාන ප්‍රධානතම සාධකයක්. 

මුල්ම වරට ගුවන් ගමනක යෙදෙන අයට මෙන්ම නිතර ගුවන් ගමන්වල යෙදෙන්නන්ටත් මෙය අදාළයි. 

ගුවන් ගමනක් අතරතුර ලබාදෙන ආහාරපාන එකතුව තීරණය කිරීමේදී අප සෑම විටම මගීන්ගේ ප්‍රතිචාර සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරනවා. 

එමෙන්ම අපගේ ආහාරපාන සඳහා යොදාගනු ලබන්නේ නැවුම් අමුද්‍රව්‍ය පමණයි. 

මගීන්ට තම අවශ්‍යතා අනුව විවිධ ආහාරපාන වර්ග තෝරාගැනීමට හැකි වන අතර, ඒවා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමත් සිදුකෙරෙනවා. 

අප දරන මෙම උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බවට මෙම සම්මානය ඉතා හොඳ සාක්ෂියක්.” 

ශ්‍රී ලංකන් ගුවන් සේවය තම ගුවන් මගීන්ට ලබාදෙන ආහාරපාන අතරට, එම ගුවන් සේවය පියාසර කරන සෑම රටකටම ආවේණික ආහාරපාන ඇතුළත් වී තිබේ. 

උදාහරණයක් ලෙස එහි දකුණු ආසියානු කලාපයේ ගුවන් ගමන්වලදී මගීන්ට ඉන්දියාව, මාලදිවයින, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලනය වැනි රටවල සූපශාස්ත්‍ර සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලැබූ බිරියානි, මසාලා, ඉඩ්ලි, උප්මා, සමෝසා, පරාටා සහ චපාති වැනි ආහාර වර්ග මෙන්ම පලක් පනීර්, අලූ ගෝබි, ගෝබි මසාලා, බටර් චිකන් මකානි ඇතුළු ආහාරවර්ග රැසක් රස විඳීමට අවස්ථාව හිමි වේ. 

කිසියම් මගියෙකු ශ්‍රී ලංකන් ගුවන් යානයක ගමන් කරන විට, ඔහුට හෝ ඇයට හිමි වන සුවිශේෂීම අත්දැකීමක් වන්නේ, සම්මානලාභී ‘SriLankan Flavours’ මෙනුවට අයත් ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාරපාන එකතුවයි. 

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු සහ හොඳම දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් පිළියෙල කරනු ලබන පරා මාළු හොදි සහ ඉස්සන් බැදුම සමග පරාටා, දුන්තෙල් බත් සමග සාම්ප්‍රදායික වෑංජන, චිකන් පෙපර් කරිය සහ දේශීය එළවලු වර්ග සමග කුරුළු තුඩ බත් සහ ලම්ප්රයිස් ඇතුළු රසවත් ආහාරපාන වර්ග රාශියක් මෙම ‘SriLankan Flavours’ මෙනුවට ඇතුළත්ය. 

‘SriLankan Flavours’ ආහාරපාන එකතුවට 2024 වසරේදී ‘IFSA Best Inflight Food or Beverage Innovation’ සම්මානය හිමි විය.