කොටහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවන කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව අනාවරණ වී ඇත්තේ අදාළ මෝටර් රථය සැකකරු විසින් කොල්ලකා පලා යමින් තිබූ එකක් බවයි.
ඊයේ රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ වාසල පාර, කොටහේන වීදිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි සැකකරු විසින් මෙම මෝටර් රථය පැහැරගෙන ගොස් තිබෙනවා.
ඒ, මෙම මෝටර් රථයේ එන්ජිම පණගන්වා එහි රියදුරු ආහාර මිලදී ගැනීම සඳහා කොටහේන වීදියේ පිහිටි අවන්හලක් වෙත ගොස් සිටි අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී සැකකරු විසින් රියදුරුගේ බිරිඳ හා මව කාර් රථය තුළ සිටියදීම එය කොල්ලකා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට මෙම මෝටර් රථය කොල්ලකෑම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත, පලා යමින් තිබූ මෝටර් රථය පසුපස ලුහුබැඳ ගොස් එය නැවත්වීමට සංඥා කර තිබෙනවා.
එහෙත් සැකකරු විසින් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේදී පොලිස් නිලධාරින් විසින් රාජකාරි පිස්තෝල අවියකින් වෙඩි පහරවල් දෙකක් තබා ඇති බවයි වාර්තා වන්නේ.
කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී මෝටර් රථය නතර කර ගැනීමට පොලිස් නිලධාරින් සමත් වී තිබෙනවා.
නිලධාරින් කාර් රථය අසලට ළඟා වූ අවස්ථාව වන විටත් සැකකරු මෝටර් රථයෙන් බැස පලාගොස් ඇති අතර මෝටර් රථය තුල සිටි කාන්තාවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි පොලීසිය පැවසුවේ.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.