Wednesday, April 16, 2025

General line - 0115112241

නීති විරෝධී වියළි කහ තොගයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු නාවික හමුදා භාරයට

ටී කේ ජී කපිල



නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ඒමට උත්සහ කළ වියළි කහ කිලෝ ග්‍රෑම් 145ක තොගයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු උඩප්පුව, කරුකපන වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

ඒ, නාවික හමුදාව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි. 

සැකකරුවන් සියලුදෙනා ගමන් ගත් ඩිංගි යාත්‍රාවේ එම වියළි කහ තොගය, උර තුනක අසුරා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ. 

එම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදි දෙකක් සමග නාවික හමුදාව විසින් පසුව සිය භාරයට ගෙන තිබෙනවා. 

එම සැකකරුවන් හයදෙනා බංගදෙනිය, වයික්කාල සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.
 

මේ අතර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොලෙන් රැගෙන යාමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කටුනායක ගුවන් තොටුපොලෙහි හරිත මාවත ඔස්සේ පිටව යාමට තැත් කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින්. 
 

ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 3,420,000ක් පමණ වන බවයි රේගු නිලධාරින් පැවසුවේ. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු ඩුබායිහි රැකියාවක ද නිරත වී සිටි අයෙකු ද වනවා. 
 

ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. 

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුනෙහි තිබී දුම්වැටි 22,800ක් අඩංගු දුම්වැටි කාටූන් 114ක් පමණ සොයාගත් බවයි රේගු නිලධාරින් පැවසුවේ.