අමෙරිකාවේ රඳවාගෙන සිටින වෙනිසියුලානු ජාතිකයන් පිටුවහල් කිරීම තාවකාලිකව අත්හිටුවමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
පැරණි නීතියක් යොදා ගනිමින් වෙනිසියුලානු කල්ලි සාමාජිකයන් යැයි කියන පිරිසක් පිටුවහල් කිරීම අත්හිටුවමින් එම නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
විධිමත් ක්‍රියා පටිපාටියකින් තොරව වෙනිසියුලානු ජාතිකයන් පිටුවහල් කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමිනුයි අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත්තේ.
18 වන සියවසේ නීතියක් උපයෝගී කර ගනිමින් අමෙරිකාවේ රඳවාගෙන සිටි කල්ලි සාමාජිකයන් යැයි චෝදනා ලැබූ වෙනිසියුලානු ජාතිකයන් 238 දෙනෙක් එරටින් පිටුවහල් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ ඉකුත් මාර්තු මාසයේදීයි.
එම පිරිස එල් සැල්වදෝරයේ කුප්‍රකට මෙගා බන්ධනාගාරය වෙත යොමු කිරීමට තීරණය කෙරුණු අතර ඒ අතරින් කොටසක් එම බන්ධනාගාරයට යවා ඇති බවටයි වාර්තා පළ වන්නේ.
අමෙරිකානු පහළ අධිකරණයක් මගින් නිකුත් කළ නියෝගයක්ද නොතකමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම නියෝගය ක්‍රියාත්මක කර ඇති බවටද වාර්තා පළවුණා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම පිරිස පිටුවහල් කරන බව නිවේදනය කළේ 1798 වසරේ සම්මත කරගෙන ඇති “පිටස්තර සතුරන්” පිළිබඳ පනතට අදාළවයි.
එම පනත මෙම අවස්ථාවේදී ක්‍රියාත්මක කෙරුණේ දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමුවරට වීමද විශේෂත්වයක්.
පිටුවහල් කළ පිරිස අතර ජාත්‍යන්තර ඵී-13 කල්ලියේ සාමාජිකයන් 23 දෙනෙකු වන බවට පැවසෙන අතර පෙත්සම ඉදිරිපත් කළ නීතිඥයින් එම ප්‍රතික්ෂේප කරමින් කරුණු දක්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 09 දෙනෙකුගේ 07 දෙනෙකුගේ එකඟත්වය ඇතිව ඉහත නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.