Monday, April 21, 2025

General line - 0115112241

නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 60ක් නිෂ්ප්‍රභ කෙරේ

උදය කුමාර



පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 60ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා. 

මෙම පෙත්සම්  නිසි කාල සීමාව තුළ  ඉදිරිපත් කර නොතිබීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නියෝගය කළේ. 

එක්සත් ජාතික පක්ෂය,    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. 

මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කිරීම, උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07වන උපලේඛනය යටතේ දිවුරුම සම්බන්ධයෙන් වූ ගැටලු සහ නිසි වේලාවට භාරදී නොතිබීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස තම අධිකරණය විසින් මීට පෙර තේරීම් භාර නිලධාරීන්ට නියෝගයක් ලබාදී තිබූ බව සඳහන් කළා.
 

ඉහළ අධිකරණයකින් එම තීන්දුව සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන තුරු තම තීන්දුව බලාත්මකව පවතින බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා එම නියෝගවලට අනුව වගඋත්තරකරුවන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කළා. 

නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පෙත්සම්වල අන්තර්ගත කරුණු පිරික්සීමේදී මැතිවරණ නීතියේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව පෙනී යන බවත් එය නිවැරදි කිරීම සඳහා ව්‍යවස්ථාදායකය අවධානය යොමු කරන්නේ නම් වඩා සුදුසු බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පැවසුවා. 
 

මෙම අධිකරණ ක්‍රියාමාර්ගය හේතුවෙන් මැතිවරණ ක්‍රියා මාර්ගයේ ඇති වූ ප්‍රමාදය නිසා මේ වන විටත් රජයට රුපියල් මිලියන 30ක 40ක පමණ අලාභයක් සිදු වී ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශ වූ බවත් විනිසුරුවරයා සඳහන් කළා. 
 

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නිසි වේලාවට මෙම පෙත්සම්කරුවන් අධිකරණයට නොපැමිණීම නිසාත් මැතිවරණ ක්‍රියාදාමය අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම වැළැක්වීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවද විනිසුරු මඩුල්ල කියා සිටියා.