Thursday, April 24, 2025

General line - 0115112241

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය අද සිට



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට ආරම්භ වනවා. 

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා මෙවර ලබාදී ඇති දින සංඛ්‍යාව 04ක්. 

මෙම දින හතරට අමතරව වෙනත් කිසිදු දිනයක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ලබා නොදෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.


සිරි දළදා වන්දනාවේ ආරක්ෂාවට යොදවා සිටින සාමාජිකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දේශපාලනික වශයෙන් සංවේදී ආයතනවල තැපැල් ඡන්ද කටයුතු නිරීක්ෂණය කරන බවයි.


මේ අතර අදින් ඇරඹෙන තැපැල් ඡන්ද විමසීමේදී වත්මන් ආණ්ඩුවට ඉහළ ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජාතික ජන බලවේගයේ මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා.


සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ මෙම මැතිවරණය ආණ්ඩුවට පණිවිඩයක් ලබාදීමට භාවිත කළ යුතු බවයි.


රාජ්‍ය සේවකයාට නියම වටිනාකම ලබාදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාලන සමයේදී බව එහි මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසනවා. 


වර්තමානයේ රාජ්‍ය සේවකයින් දැඩි පීඩනයකින් පසුවන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවා.


මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු අනන්‍යතා පත්‍ර පහක් හඳුන්වා දී තිබෙනවා. 
 

ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය එම අනන්‍යතා පත්‍ර වනවා.