Saturday, April 26, 2025

General line - 0115112241

ඉන්දීය අගමැති මෝදිට ජනපතිගෙන් දුරකතන ඇමතුමක්



පුද්ගලයන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්බු කාශ්මීරයේ පහල්ගම්හි පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද දුරකථන ඇමතුමක් ලබාදෙමින්. විනාඩි පහළොවකට ආසන්න කාලයක් දෙරටේ නායකයින් දුරකථන සංවාදයේ නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ දැන ගැනීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියානු ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳී සිටින බවද පවසා තිබෙනවා.

එසේම ලොව කොතැනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා. 

මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මනින් පහ වී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.