සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා.
මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබුවේ මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින්.
එහිදී පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරු පිළිබඳව විමර්ශන සිදුකරන බවයි.
සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසත් පොලිසිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විමර්ශනයට අදාළව පොලිසිය විසින් අනාවරණය කර ගන්නා තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම බරපතළ ගැටලුකාරී තත්ත්වයක් බවයි.
විමර්ශන තොරතුරු මාධ්‍යවලින් ප්‍රචාරය වීම තුළින් නියම සැකකරුවන් නීතියේ රැහැණින් බේරී යනු ඇතැයි සඳහන් කළ නීතිඥවරයා එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මෙම අපරාධයට සම්බන්ධ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වනු ඇති බවත් පැවසුවා.
මෙම සැකකරු අදාළ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව ප්‍රකාශ කළත් ඔහු මෙම අපරාධයට සම්බන්ධ නොමැති බවත් නීතීඥවරයා පැවසුවා.
ඉන් අනතුරුවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කළේ.