ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දිනයේ සිදු කෙරෙනවා.
ඒ, රෝමයේ ශාන්ත පීතර චතුරස්‍රයේදීයි.
මේ අතර අද දිනය ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් ලෙස ලක් රජය විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව අද රජයේ සියලුම කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කරමින් එම දැනුම්දීම සිදු කළ බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවය අද රෝම වේලාවෙන් පෙරවරු 10ට ආරම්භ වීමට නියමිත බව වතිකානය පවසනවා.
ඒ රෝමයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදීයි. මිය යන විට උන්වහන්සේ 88 හැවිරිදි වියේ පසු වුණා.
උන්වහන්සේගේ එළිමහන් දේව මෙහෙය සඳහා දස දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.
අදාළ දේව මෙහෙය මෙහෙයවනු ලබන්නේ කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ විසින්.
පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විදේශීය නියෝජිතයින් රෝමය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.
අද දින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ද පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි සහ බි්‍රතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සහ විලියම් කුමරු වැනි රාජ්‍ය නායකයන් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේගේ අවමංගල්‍යය උත්සවය සරල උත්සවයක් ආකාරයෙන් පැවැත්වෙන බවත් එය ඓතිහාසික සිදුවීමක් වනු ඇති බවත් වතිකානය පවසනවා.