Sunday, April 27, 2025

General line - 0115112241

සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි - අලුතෙන් කිසිවෙතුත් පෝලිම්වලට එකතු නොකර ගැනීමට තීරණයක්

කමල් සුරවීර



මෙරට ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ සැදැහැවතුන්ගේ නෙත් සිත් පුබුදු කළ සිරි දළදා වන්දනාවවේ අවසන් දිනය අදයි. 

වසර 16කට පසු පැවැත් වුණු “සිරි දළදා වන්දනාව” පසුගිය 18 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණා. 

එදින සිට දින නවයක් පුරා දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුදු රජාණන් වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කරගනු ලැබුවා.  

“සිරි දළදා වන්දනාව” පැවැත්වෙන 10 වන සහ අවසන් දිනය වන අද  දිනයේ ද දන්ත ධාතූන් වහන්සේ නෙතින් දැක වැදපුදා ගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.

මෙවර සිරි දළදා වන්දනාවට අපේක්ෂා නොකළ තරම් සැදැහැවතුන් අති විශාල පිරිසක් සහභාගී වීම හේතුවෙන් ඇතැම් සැදැහැවතුන්ට දින කිහිපයක් පෝලිම්වල රැඳී සිටීමට ද සිදු වුණා. 

දළදා සමිදුන් වැදපුදා ගැනීමේ භාග්‍ය උදාකර ගත් සැදැහැවතුන් කිහිප දෙනෙකෙු නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

අද දිනයේ පැමිණිනෙන කිසිදු පුද්ගලයෙකුට පෝලිම්වලට එක් වීමට අවස්ථාව ලබා නොදෙන බවද පොලීසිය පැවසුවා.

සැදැහැවතුන් වෙනුවෙන් පෙර දිනයන්හීදි ක්‍රියාත්මක වූ සේවාවන් අද දිනයේ ද සපයන බවයි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.

රැගෙන එන කිසිවක් මහනුවර නගරයේ දමා නොයන ලෙසද මහනුවර නාගරික කොමසාරිස්වරිය සියලු සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර සිරි දළදා වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන්ට යළි ගම්බිම් බලා පිටත්ව යාමට අද දිනයේ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. 

ඒ අනුව මගී ඉල්ලුමට සරිලන පරිදි බස් රථ ධාවනයට එක් කරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කළමනාකරු, සනත් ප්‍රසන්න කුමාර බෙල්අන්ග මහතා පැවසුවේ. 

මහනුවර සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මිකර ජයසුන්දර මහතා පැවසුවා.