Monday, April 28, 2025

General line - 0115112241

කැනඩාවේ වීදි උත්සවයකට මෝටර් රථයක් කඩා වැදීමෙන් නව දෙනෙකු මරුට



කැනඩාවේ වැන්කුවර්හි වීදි උත්සවයකට පුද්ගලයෙකු විසින් මෝටර් රථයක් ධාවනය කරවීමෙන් සිදු කරන ලද අනතුරකින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

අනතුර සිදුකල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි වියේ පසුවන වැන්කුවර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. 

සැකකරු එවැනි අනතුරක් සිදු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි වී නොමැති නමුත් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි කැනඩා පොලීසිය පවසන්නේ.

වැන්කුවර්හී පිලිපීන සංස්කෘතියට අනුව පැවති වීදි උත්සවයකට එක්ව සිටි ජනතාව අතරට කඩා වැදුණු එම මෝටර් රථය, ඉදිරියට ධාවනය කරවූ බවත් රැස්ව සිටි පිරිස් කෑ කෝ ගසමින් හා උදව් ඉල්ලමින් දිවගිය බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබෙනවා. 

කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වීමට දින දෙකකට පෙර සිදු වූ මෙම සිද්ධිය එරට දේශපාලන නායකයින් කම්පනයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.