(Update News)
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ, සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද සාක්ෂි සටහන් කරගනු ලැබුවා.
ඒ, 2008 වසරේ ඔක්තෝබර් මස 10 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේ දී එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක්, අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඉන් අනතුරුව රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේ දී තමා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට පෙර කොටි සංවිධානය විසින් හතර වතාවක් තමන්ව ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබූ බව සඳහන් කළා.
2008 වසරේ ඔක්තෝම්බර් මස 10 වනදා වනදා බණ්ඩාරගම ප්‍රදේශයේ වෙල් යායක පැවැති කෘෂිකර්ම වැඩසටහනකට සහභාගි වී තමන් ඇතුළු පිරිසක් ආපසු කොළඹ ඒමට පිටත් වූ බවත් තමන්ට රජය විසින් වෙඩි නොවදින වාහනයක් ලබා දී තිබූ අතර තමා එම වාහනයේ පිටිපස අසුනේ අසුන්ගෙන පැමිණි බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා.
එලෙස පැමිණෙන අතරතුර බොරලැස්ගමුව ප්‍රදේශයේදී කාන්තාවක් වම් පැත්තෙන් තම වාහනය කරා පැමිණෙනු තමන් දුටු බවත් ඇය වාහනයට පනින අවස්ථාව වන විට තම වාහනය ඉදිරියට ගමන් කර තිබූ බවත් සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා, ඇය පනිනු ලැබුවේ තමන්ට පිටුපසින් ගමන් ගත් වාහනයට බව පවසා සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස තම අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ඇතුළු පුද්ගලයින් හතර දෙනකු පමණ මිය ගිය බවත් ඔහු සඳහන් කළා.
එම පිපිරීමත් සමගම තමා ගමන් ගත් වාහනයේ ඉදිරි අසුනේ සිටි ආරක්ෂක නිලධාරියා “සර් බ්ලාස්ට් එකක්” යනුවෙන් සඳහන් කරමින් රියදුරාට වේගයෙන් ගමන් කරන ලෙස අණ කළ බවත් එසේ ගමන් ගත් සිය මෝටර් රථය බොරලැස්ගමුව පොලිසිය තුළට ඇතුළු වූ බවත් සාක්ෂිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියා.
පැය දෙකක් පමණ තමන් පොලිස් ස්ථානය තුළ සිටි අතර එම අවස්ථාවේදී තමා දැඩි ලෙස මානසික පීඩනයට ලක්ව සිටි බවත් පොලිස් ස්ථානය ඉදිරිපස පිහිටි විහාරස්ථානයක හිමිනමක් පැමිණ, තමන්ට සන්සුන් වන ලෙස උපදෙස් ලබාදුන් බවත් සාක්ෂිකාර මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළා.
මෙම සිද්ධියෙන් අනතුරුව සති දෙකක් පමණ තමා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවත් ඔහු අවසන් වශයෙන් සාක්ෂි දෙමින් සඳහන් කර සිටියා.
ඉන්න අනතුරුව දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන කාර්යාංශය හෝ වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගත් බවත් කියා සිටියා.
සාක්ෂි සටහන් කර ගැනීම අවසන් වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා මුදාහැරීමට අධිකරණය නියම කළා