Tuesday, April 29, 2025

General line - 0115112241

බාල පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධියට කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු රිමාන්ඩ්

උදය කුමාර



කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන මහේෂ් ගම්මන්පිල මහතා අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.    

ඒ, 2021 වසරේදී චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීමේ චෝදනාව මතයි. 

සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළේ.

අල්ලස් කොමිසම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම්දී තිබුණේ මෙම සැකකරු 2021 වසරේ චීන සමාගමකින් ආනයනය කරන ලද ප්‍රමිතියට අනුකූල නොවන පොහොර නැවක් වෙනුවෙන් අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දෙමින් ඊට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 6යි දශම 9ක් ගෙවීමට අනුමැතිය ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදුකර දූෂණය නැමැති වරද සිදු කර ඇති බවයි. මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. 

එදින විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කරන ලෙසත් එහිදී නියෝග කෙරුණා.