අභියාචනාධිකරණයට හා එහි විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසාත්මක වන ආකාරයේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට අවසර ලබාදී තිබෙනවා.
ඒ, අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිළිබඳ විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පිල්ලයාන් නමැත්තාට එරෙහිව ගොනු කෙරුණු නඩු කටයුත්තෙන් ඔහු නිදහස් කර ඇති බවට චෝදනා කරමින් අභියාචනාධිකරණයට හා තමාට අපහාසයක් වන ආකාරයට එම සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල අසත්‍ය තොරතුරු පළ කර ඇති බව විනිසුරුවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
ඊට තමාගේ රාජකාරී නිල ඇඳුම් සහිත ඡායාරූපද පළ කර ඇති බවයි ඔහු එම පැමිණිල්ල තුලින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
එම ප්‍රශ්නගත නඩුකරය කිසිදු දිනයක තමා ඉදිරියේ කැඳවීමක් කර විභාග නොවූ බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනාධීකරණ රෙජිස්ටාර්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව තොරතුරු දන්වා යවා ඇති බවද විනිසුරුවරයා සිය පැමිණිල්ල මගින් සදහන් කර තිබෙනවා.
මේ හේතුවෙන් සිය පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ද එම සමාජය මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු පළ කර ඇති බවයි අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා පවසන්නේ.
එබැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස විනිසුරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල පිළිබඳ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.